Sunday, December 2, 2012

85 අපිට ඕන විදිහට Power Pack එකක් හදමු ද..?



පවර්පැක්  කිව්වම හුඟක් දෙනෙක් දන්නවා නේ. යම් යම් ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට විදුලිය ලබා දෙන්න යොදා ගන්නේ. අන්න ඒවා.  මේවා ඉතින් වෙළඳ පලේ ටිකක් මිලයි වගේම අවශ්‍ය කරන ඇම්පියර් ගාන ලබා ගන්නත් අපහසුයි. ඉතින් මොකක් හරි උපකරණයකට සම්බන්ධ කරලා ටිකක් වෙලා යනකොට මේක අධිකව රත් වෙන්න ගන්නවා. ඒ අවශ්‍ය බලය ලබා දෙන්න ප්‍රමාණවත් නොවන නිසා. මේ රත් වීම නිසා ඇතුලේ තියන කම්බි කරවී යාමෙන් පවර් පැක් එක ඉක්මනින් පිච්චිලා යනවා.

හරියට අපි අපිට උස්සන්න බැරි බරක් අමාරුවෙන් උස්සගෙන යනවා වගේ. ටික දුරයි එතකොට යන්න පුළුවන් වෙන්නේ.

සුළු දැනුමක් සහ වැඩි උනන්දුවක් තියනවා නම් පහසුවෙන් තමන්ගේ අවශ්‍යතාවයට හරි යන්න එකක් හදාගන්න අමාරුවක් නෑ... වැඩි කාලයක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.


මං අද කියන්න ආවේ පවර් පැක් එකක් හදා ගන්න හැටි. මේක එච්චර ලොකු දෙයක් නම් නෙවෙයි.  ඒත් නොදන්නා අයත් ඇති ඕන තරම්. මම කලින් ලිපියක සඳහන් කරපු ඩොන්ගල් එකකට ෆෑන් එකක් සවි කර ගැනීම    ගැන කියද්දීත් සඳහන් කලේ නෑනේ ඒකට ඕන කරන බල සැපයුම හදා ගන්නේ කොහොමද කියල.

මුලින්ම අපිට විදුලිය සපයන්න ඕන කරන උපකරණය ට දෙන්න ඕන වෝල්ට් ගාන බලා ගන්න වෙනවා. ඒක ගහල ඇති පවර් පැක් එකේ ජැක් එක ගහන තැන. ඊට පස්සේ ඇම්පියර් ගාන බලා ගන්න. ඒකත් එතන ගහල තියනව හුඟක් වෙලාවට. නැත්නම් අදාළ උපකරණයත් එක්ක දෙන විස්තර පොතේ උනත් තියනවා.

බැටරි වලින් වැඩ කරන උපකරණයක් නම් ඇම්පියර් 0.5 ක් වගේ තමයි ගන්නේ. ඊටත් ටිකක් අඩුවෙන්.
ට්‍රාන්ස්ෆෝමර් එක තෝරා ගන්න කොට මේ ඇම්පියර් ගන්නට වඩා වැඩි එකක් ගන්න. ඇම්පියර් ගණන වැඩි වෙන තරමට හොඳයි. වරදවා ගන්න එපා වෝල්ට් ගණන වැඩි වෙන්න බෑ. හුඟක් අය වරදවා කියන එකක් තමයි වොට් (Watt) සහ වෝල්ට් (Volt) දෙක. මෙතැනදී කිව්වේ වෝල්ට් ගැන. වොට් කියන්නේ ශක්තිය මනින ඒකකයක්. ඈම්ප් (Power Amlifier) වලදී එහෙම තමයි වොට් කියන වචනය භාවිතා කරන්නේ. 

මේ වගේ වැඩ වලට ගන්න ට්‍රාන්ස්ෆොර්මර් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියනවා. එකක වයර් පහක් තියනවා. ඒකට කියන්නේ  Full Wave Transformer කියල. අනෙක් වර්ගයේ වයර් හතරයි. ඒ Half wave Transformer කියන වර්ගය.

මේකෙන් ගන්න Full Wave Transformer එකක්. එතකොට පහසුයි. මං මෙතන කියන්නම් ඇම්පියර් තුනේ වෝල්ට් 12 (12v/3A) පවර් පැක් එකක් හදන විදිහ. අවශ්‍ය කරන වෝල්ට් ගාන අනුව ට්‍රාන්ස්ෆොර්මර් එක විතරක් වෙනස් කර ගත්තම ඇති.
ට්‍රාන්ස්ෆොර්මර් ගැන  තව ඕනේ නම් මෙතනින් මෙතනින් බලන්න පුළුවන් 

 දැන් අනෙක් උපකරණ ලැයිස්තුව.

1)  ඇම්පියර් 5 හෝ 3 රෙක්ටිෆයර් - 2
2)  2200MFD/50v ඉලෙක්ට්‍රොලයිටික් කැපසිටර් - 1
3)  අඟල් දෙකේ දෙකේ විතර ඩොට් බෝඩ් කැබැල්ලක්
4)  ඊයම් කම්බි අඩියක් පමණ
5)  AC වයර් කෝඩ් එකක්
6)  DC ජැක් එකක්
7)  ෆ්ලෙක්සිබල් හෝ ටූ කෝර් වයර් මීටරයක් පමණ (මේවා තියන්නේ වයර් දෙකක් එකට )
8)  බවුත් එකක් (විදුලි පාහනයක් )
9) කම්බි කපන වර්ගයේ කුඩා අඬුවක්  (යලි පාවිච්චි කිරීමේ අදහස අත් හැරිය හැකි නම් නියපොතු   කපනයක්)
10)  ගම් ටේප් එකක්
11)  වයර් සුද්ද කිරීමට කුඩා පිහියක්
 12) LED බල්බයක් සහ 1K රෙසිස්ටරයක් (Indicater එක සඳහා)
 13) වයර් සහිත ෆියුස් හෝල්ඩර් එකක් සහ ෆියුස් එකක්.

මං මෙතැනදී සරලව සම්බන්ධ වෙන ආකාරය කියන්නම්. ඒ විදිහට ඩොට් බෝඩ් එකේ තඹ නැති පැත්තෙන් උපකරණ ටික ඇතුල් කරන අනෙක් පැත්තෙන් එකතු කරලා පාස්සා ගන්න. එහෙම නැතුව මේ කියන විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ෂෝට් නොවෙන්න එකලස් කර ගත්ත නම්. හැබැයි ලස්සනට වැඩේ කර ගන්න පුළුවන් ඩොට් බෝඩ් එකක. ඉවසීම තමයි ඕන කරන්නේ. ඔන්න දන්නා විදිහට බලි කුරුට්ටකුත් ඇඳලා දැම්ම. වචන දාහකින් කියන දේ එක රූපයකින් කියන්න පුළුවන්ලු නේ. මට ඉතින් ග්‍රැෆික් ගැන වැඩි දැනුමක් නම් නෑලු.


 
 මේකේ කළු පාටින් ඩොට් තියල තියන තැන් විතරයි සම්බන්ධ වෙන්නේ.  පොඩි කොටුව ඇතුලේ තියන්නේ ජැක් එකේ අග්‍ර පෙන්වන ආකාරය. ඔහොම තිබුනොත් ජැක් එකේ ඇතුලේ පින් එක - ඍණ. පිටත කොටස + ධන.

රෙක්ටිෆයර් දෙකේ දුඹුරු හෝ සුදු පාටින් රවුමක් ඇඳලා තියන පැත්ත එකට එකතු කරලා පාස්ස ගන්න. මෙතන කෙටි වෙන්නම සම්බන්ධ කර ගත්ත නම් ලුහුවත් (Short) වෙන්න තියන ඉඩ අඩුයි. ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් තුනක් තියන පැත්තේ එකම වර්ණයෙන් තියන වයර් දෙක රෙක්ටිෆයර් දෙකේ නිදහස් දෙකෙලවරට පාස්සා ගන්න. දැන් අර කලින් රෙක්ටිෆයර් දෙක එකතු කරපු තැනට 2200MFD කන්ඩෙන්සර් එකේ ඉරි වලින් සලකුණු නොකළ පැත්ත පාස්සන්න.

ට්‍රාන්ස්ෆෝමර් එකේ තියන අනෙක් පාට වයර් එක (හුඟක් වෙලාවට කළු) අරගෙන අපි කලින් ගත්තු ෆ්ලෙක්සිබල් වයර් එකේ නිල පාට හෝ කළු පාට වයර් එකේ කෙලවරකට  සම්බන්ධ කරන්න. දැන් ඒ දෙකම කන්ඩෙන්සර් එකේ (-) අග්‍රයට නැත්නම් ඉරි වලින් සලකුණු කරලා තියන දැනට නිදහස් අග්‍රයට පාස්සන්න.

මේ අග්‍ර (Pin) මාරු වුනොත් කන්ඩෙන්සර් එක  පුපුරලා විනාශ වෙනවා.. එහෙම උනොත් හොඳ සුවඳක් එහෙම දැනෙයි.

දැන් ෆ්ලෙක්සිබල් වයර් එකේ අනෙක් පාට (දුඹුරු/රතු) වයර් එකේ කෙලවර පාස්ස ගන්න කන්ඩෙන්සර් එකේ ධන අග්‍රයට. තව විදිහකින් කිව්වොත් රෙක්ටිෆයර් දෙක එකතු වෙලා තියන තැනට.

 ඔන්න හරි. එතකොට ඔය ෆ්ලෙක්සිබල් වයර් එකේ/දෙකේ  අනෙක් නිදහස් කෙලවර තමයි ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන්නේ..!! දැන් හරි.

                                         හරිද ....?

                                           *
                                           * 
                                           *
                                           *
                                           *
                                           *
                                         නෑ

 ඔබ හිතුවා හරි.. බබා හම්බු වෙයි එහෙම දුන්නොත්.. නේද..!!!   හ්ම්.. 


ඒ කෙලවර තමයි අපිට අවශ්‍ය  කරන උපකරණයට සම්බන්ධ වෙන්නේ. මේ වයර් දෙකෙන් එක වයරයක් මැදින් කපලා ෆියුස් හෝල්ඩර් එකේ දෙකෙළවර එතනට පාස්සන්න. ෆියුස් හෝල්ඩර් එක ඇතුලට ට්‍රාන්ස්ෆෝමර් එකේ කරන්ට් එකට පොඩ්ඩක් වැඩි ඇම්පියර් ගානක ෆියුස් එකක් දා ගන්න. ට්‍රාන්ස්ෆෝමර් එක ඇම්පියර් තුන නම් ෆියුස් එක 3.5A වගේ. අන්තිම කෙලවරට ජැක් එක සම්බන්ධ කරන්න ඕන. මේක කරන්න කලින් අදාල උපකරණයේ ජැක් එක සම්බන්ධ වෙන තැන කොහොමද සටහන් කරලා තියන්නේ කියල බලන්න වෙනවා. හුඟක් වෙලාවට මැද පින් එක (-) හා පිටත පින් එක (+) විදිහට තමයි තියන්නේ.

දැන් ගෙනාපු බඩු ලිස්ට් එකෙන් මොනවද ඉතුරු.. තියනවා නේද තව ටිකක්. ඒ ටික කොහෙද එල්ලන්නේ..

LED එකේ දිග පින් එකට 1K රෙසිස්ටර් එකේ පැත්තක් පාස්සා ගන්න. මේවා පිහිටන විදිහ බලලා කෙටි වෙන්නම එකලස් කර ගන්න. දිග වැඩි තැන් වගේම එකිනෙක ගෑවෙන්න පුළුවන් තැනුත් ටේප් වලින් ආවරණය කර ගන්න.

LED එකේ අනෙක් කෙලවර කන්ඩෙන්සර් එකේ ඍණ පින් එකට [කොතනකින් හෝ
ආරක්ෂිතව (-) ට සම්බන්ධ වීමයි වෙන්න ඕනි] පාස්සන්න.

දැන් අර ට්‍රාන්ස්ෆෝමර් එකේ අනෙක් පැත්තේ තියන වයර් දෙකට AC වයර් කෝඩ් එක සම්බන්ධ කර ගන්න එකිනෙක කොහොමවත් ගෑවෙන්නේ නැති වෙන විදිහක් බලලා. පස්සේ හොඳට ටේප් කර ගන්න. දැන් ආයෙත් පාරක් හොඳට බලන්න එකලස් කළා හරිද කියල.
 

හරි නම් ආයුධ ටික එහෙම පැත්තකින් තියලා, මොකකට වත් සම්බන්ධ නොකර විදුලිය දෙන්න. දෙන කොටම LED එක දැල්වුනා නම් වැඩේ හරි නේ.
හුරේ.....!!!
එහෙම නොවුන නම් ඉක්මණින්ම ස්විච් එක ඕෆ් කරලා ආයේ පරීක්ෂා කරලා බලන්න. වැඩ ඉවර කරලා කැමති විදිහක ආවරණයක් හදා ගත්ත නම් පෙනුමත් එයි ගානට. මොකක් හෝ පෙට්ටියක් වගේ ආවරණයක රඳවා ගන්න පුළුවන්... බාගෙට MADE IN SRI LANKA ඒත් මදැයි.. චීන්නුන්ගේ ප්ලාස්ටික් කෑලි වලට නිකන් ගෙවන එකෙන් කීයක් හරි ඉතුරුයි නේ.

මේක තව ටිකක් දියුණු කරලා ඕනේ නම් උපරිමයේ සිට බින්දුව දක්වා සීරු මාරු කරලා කැමති වෝල්ට් ගානක් ගන්න විදිහට  හදා ගන්න පුළුවන්. උඩම පින්තුරේ තියන්නේ ඒ වගේ ගැජට් එකක්.

85 comments:

  1. චන්දන ඔයාට තිබ්බේ 3,6,9,12 වෝල් ටේජ් වලට සිලෙක්ටරයක් දාන විදිහට ලියන්න . මේකත් නරක නැ

    ReplyDelete
    Replies
    1. ඔව් අටම්. එහෙම දැම්ම නම් වඩා ප්‍රයෝජනවත් තමයි. ඔය උඩ රූපයේ තියන එකේ නම් වොලියුම් කන්ට්‍රෝල් එකක් දාල ඒක කරකවන්න හදල තියන්නේ. ඒකෙන් නම් 0 ඉඳල 12 දක්වා ඕන ගානක් ගන්න පුළුවන්. ඊට අමතරව වෙනම 12 ගන්නත් පුළුවන්.
      උඹ මතක් කරපු එක වටිනවා මචං. ආයේ ඉදිරියේදී ලිපියකට සිලෙක්ටර් එකක් හදන හැටි දාන්නම්.

      Delete
  2. නියම වැඩක් චන්දන.

    කඩවලිං ගන්න සමහර පවර් පැක් වල ඒ ගහල තියෙන ඇම්පියර් ගානවත් අවුට්පුට් ‍වෝල්ටේජ් එකවත් හරියට එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ප්‍රසන්න. ඒවායේ ගේජ් (මහත) එක හුඟක් අඩු කම්බියකින් ඔතල තියන්නේ. ඉතින් රත් වීමට ඔරොත්තු දෙන්නේ නෑ. ටික කාලෙකින් ඉවරයි.

      Delete
  3. මේ වගේ තාක්ෂණික දේවල් මට නම් මඤ්ඤං වගේ චන්දන...මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මේවා නම් ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුට මඤ්ඤං ම තමා ලිහිණි.:):) ඒත් කියවලා කොමන්ටුවක් කෙටුවට බොහොම ස්තුතියි!

      Delete
  4. මේක නම් මරු. මම කාලෙකට උඩදි කඩෙන් පාවර් පැක් එකක් ගෙනාව. දන්නවා නම් මගෙම කියලා එකක් හදවා ගන්නවා. එතකොට කාටද ආඩම්බර !

    මේ වගේ පවර් පැක් ඕන වෙන්නේ වෙසක් කාලෙට. ඊට කලින් මෙහෙම ලිපියක් ලිව්ව එකත් හොඳා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මින්. Made by min.. :)
      ආයේ ඕන උනොත් හදා ගන්න පුළුවන් නේ දැන්.

      Delete
  5. කියල වැඩක් නෑ... පස්ට පෝස්ට් එකක් චන්දන අයියා.... මං එකොළහ දොළහෙදී ඉලෙක්ට්‍රොනික් පිස්සෙක්..:) ට්‍රාන්ස්මීටරයක් හදන්න බැලුවා.. මයික් එකක් හදන්න බැලුවා.. එකක් වත් හරි ගියේ නෑ.. මොකද එකක් වත් ඩොට් බෝඩ් වල නෙමෙයි ලෑලි කෑලි වල ඇණ ගහල වයර් ඇදල හැදුවේ..හිකිස්..:)). ෂුවර් මං මේක හදනවා.. (එහෙම හිතනවා..)

    ReplyDelete
    Replies
    1. යාන්ත්‍රික මල්ලි, ට්‍රාන්ස්මීටර් වගේ ඒවා නම් ඉතාම කෙටි වෙන්න අග්‍ර (Pin) පාස්සා ගන්න ඕනේ. නැත්නම් සංඛ්‍යාතය වෙනස් වෙනවා. එතකොට වැඩ කරන්නේ නෑ. හදල ඉවර වෙලා කොයිල් සහ ට්‍රිමර් වලින් ටියුන් කර ගන්නත් ඕනේ. වඩා ප්‍රබල ට්‍රාන්ස්මීටර් නම් හැදීම තහනම්.
      පවර් පැක් එක හදල බලන්න. වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් වෙයි.

      Delete
  6. ගොඩක් කලෙකට් පස්සේ තාක්ෂණික ලිපියක් ලිවුවේ නේද?
    නියම පොස්ට් එක මචං... මමත් ලගදී පොඩි ගේමක් දීලා අපේගෙදර අයින් කරලා දාලා තිබුන තියන පරණ T.V එක හැදුවා....ගෙදර අය අනිත් T.V එක බලන නිසා දැන් නිදහසේ මටම කියලා මමම හදාගත්ත T.V එක බලනවා :D හැබයි එකේ තාම කලර් ටිකක් අප්සට්. බට්න් සෙට් එක T.V එකෙන් එලියට අරන් වෙනම හැදුවා

    ReplyDelete
    Replies
    1. කොල්ලා හොඳයි නේ. බලන්න ඉතින් අයින් කරලා දැම්ම නම් අපරාදෙනේ. මං කිව්ව ක්‍රමේට බට්න් ටික ඔක්කොම ආයේ සෙට් කරලා බලන්න. කලර් වල මොකක්ද තියන අවුල. අඩුද, බොඳ වෙලා ද, කලර් එන්න වෙලා යනවද..

      Delete
    2. කලර් සෙට් එකෙන් නිල් පාට හොදටම අඩුයි අනිත් කලර් වල අවුලක් නැහැ වගේ එක හදාගන්න ක්‍රමයක් තියනවද

      Delete
    3. අහ්.. ඒක නම් ටිකක් චෙක් කරලා බලන්න වෙන වැඩක්. එක එක හේතු හින්ද ඔහොම වෙනවා. සමහර විට පාස්සපු තැනක් ගැලවෙලා වෙන්නත් පුළුවන්. ටී වී එකේ කවර් එක ගලවලා ආරෂිත විදිහට තියල කරන්ට් එක දෙන්න.
      ඊට පස්සේ හොඳින් වියලි කෝටුවක් (පැන්සලක් විතර මහත) වගේ එකක් අරන් බෝඩ් එකට හෙමින් තට්ටුවක් දාල බලන්න කලර් එනවද කියල. කොතැනක් වත් අල්ලන්න නම් යන්න එපා.
      ආයේ බෝඩ් එකේ ඉඳල ටියුබ් එකේ පස්සහ තියන සර්කිට් බෝඩ් එකට එන වයර් වලටත් එහෙම කරලා බලන්න. එහෙම කරද්දී කලර් එනවා නම් හෝ ඇවිත් යනවා නම් කොහේ හරි ගැලවිලා. ඕෆ් කරලා වයර් එහෙමත් ගලවල බෝඩ් එක එලියට ගන්න. මෙහෙම ගන්න නම් වයර් ක්ලිප් කීපයක් ගලවන්නත් වෙයි. ඕෆ් කළා කියල නෑ ටියුබ් එකේ උඩට සෙට් වෙන රතුපාට තනි වයර් එක මුලින් නම් කරන්ට් වදිනවා. ඒක එහෙමම තියන්න.

      බෝඩ් එක හොඳින් බැලුවාම සමහර විට පෙනෙයි ගැලවුණු තැනක් තියෙයිද කියල. එහෙම තැන් තියනවා නම් ආයේ පාස්සන්න. අයි සී වල පින් ලඟින් තියන නිසා පොඩ්ඩ වැරදුනොත් ෂෝට් වෙන්න බලනවා. බවුත් එක ගොඩක් වෙලා තියාගෙන ඉන්නත් එපා පාස්සනකොට. ටියුබ් එකේ පිටිපස්සහ කොටස ඉක්මනින්ම කැඩෙන්න බලනවා. ඉතින් ඒ පැත්තේ මොකුත් වදින්න දෙන්න එහෙම එපා. ඒක කඩල ගියොත් ඔක්කොම ඉවරයි.

      ඔහොම හරි යන්නේ නැත්නම් ලෙඩේ හොයන්න කරන්ට් එක දීලා මීටරයකින් බලන්න වෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. අයි සී අවුල් ගියාමත් ටියුබ් එකේ දෝෂ නිසාත් ඇතැම් විට ට්‍රාන්සිස්ටර් දෝෂ හින්දත් ඔය ලෙඩේ එනවා.

      Delete
    4. මම අයෙත් චෙක් කරලා බලලා අවුල මොකක්ද කියලා හොයලා බලන්නම්

      Delete
    5. නෙක් බෝර්ඩ් එකේ ට්‍රන්සිස්ටර් තුන හෝ එතන තියෙන රෙසිස්ටර් දෙක තුන (කලර් ගන්ස් වලට අදාල) පරීක්ෂා කොරලා බලන්න කියපන් චන්දන. බුවාට වැඩේ ගොඩ දාන්න ඇහැක් වේවි. මට හිතෙන්නේ ඕක පොඩි "ආදර පෝල්ට්" එකක්. හිකිස්....!

      Delete
    6. //"ආදර පෝල්ට්" එකක්// යැස් යැස්.. :):)
      සරාගේ අදහස වටිනවා. බලමු කියල.

      Delete
  7. ෆුල් වෙව් ට්‍රාන්ස්ෆෝමර් එකක් දානවානම් ෆුල් වෙව් රෙක්ටිෆයර් එකක් (පින් හතර) හෝ හාෆ් වෙව් රෙක්ටිෆයර් හතරකින් බ්‍රිජ් එකක් හදලා දැම්මොත් නේද AC - DC පරිවර්තනය වඩා හොඳින් සිදුවෙන්නේ. මම වැරදී නම් හරි ක්‍රමය කියාදෙන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි විචාරක තුමා,
      පූර්ණ තරංග ඍජුකරණය ක්‍රම දෙකකට කරන්න පුළුවන්.

      කාලෙකට ඉහතදී වැඩිපුර ආවේ වයර් හතරක් තියන හාෆ් වේව් ට්‍රාන්ස්ෆෝමර්. ඒවා සඳහා තමයි බ්‍රිජ් රෙක්ටිෆයර් යොදා ගත්තේ. එතකොට වෙන්නේ AC තරංගයේ තියන ධන හා ඍණ කොටස් දෙකම රෙක්ටිෆයර් දෙකක් හරහා පිටතට ලැබීම. එතැනදී Diode දෙකක් නැඹුරු(bios)වෙන නිසා වෝල්ටේජ් එක වගේම කරන්ට් එකත් මදක් අඩුවෙනවා. නමුත් DC වීම නිවැරදිවම සිද්ධ වෙනවා එතනදිත්. දැනටත් පවර් පැක් වලට ගන්නේ එහෙම Diode හතරක් සහ හාෆ් වේව් ට්‍රාන්ස්ෆෝර්මර් එකක්.

      Diode දෙකක් තමයි යොදා ගන්නේ ෆුල් වේව් ට්‍රාන්ස්ෆොර්මර් එකක් සඳහා. එතැනදී වෙන්නේ AC තරංගය අවස්ථා දෙකකදී Diode දෙක හරහා වට දෙකක් සම්පුර්ණ කිරීම. නමුත් මෙතැනදී Diode දෙකම හරහා කොයි වෙලාවකවත් ධාරාවක් ගලන්නේ නෑ. සංඛ්‍යාතය වෙනස් වීමත් එක්ක අදාළ Diode එක හරහා මැද ටැප් එකට සාපේක්ෂව ධන ලබා ගන්නවා.

      මේකේ තියන වාසිය තමයි හැම වෙලාවේම ධාරාව ගලන්නේ එක Diode යක් හරහා පමණක් නිසා වැඩි ධාරාවක් ගන්න පුළුවන් වෙන එක.

      ඔය ක්‍රම දෙකේදීම AC - DC පරිවර්තනය හොඳින් සිද්ධ වෙනවා. යම් තරමකට හෝ ඉතිරි වෙන අස්ථායී භාවයන් නැති කරනවා කන්ඩෙන්සර් එකෙන්.

      තවත් ක්‍රමයක් තියනවා ඩුවල් සප්ලයි කියල. එතැනදී නම් ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් සහ බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් යොදා ගන්නවා. එහෙම කරලා ධන, ඍණ, සහ 0 කියල විභවයන් තුනක් ලබා ගන්නවා. වැඩි වොට් ගානක් පිට කරන ඇම්ලිෆයර් වලට එහෙම සැපයුම දෙන්නේ ඒ ක්‍රමයට.
      රූපයක් යොදා ගන්න තිබුනා නම් වඩා පැහැදිලි කරන්න තිබුන.
      යම් ගැටළුවක් තියනවා නම් අහන්න. මං ඒකට කැමතියි.

      Delete
    2. මම කාලයක් ගුවන්විදුලි/රූපවාහිනී අලුත්වැඩියා කටයුතු කළා විනෝදාංශයක් හැටියට. සමහරවිට ඔබට පුදුම හිතෙයි මම ඉගෙනුම පටන්ගත්තේ වෑල්ව් වලින් ක්‍රියා කරන යන්ත්‍ර වලින්. ඒ වර්ගයේ රූපවාහිනී එකයි මම දැකලා තියෙන්නේ.රේඩියෝ සහ අම්ප්ලිෆයර් නම් ඇතිවෙන්න කාලා තියනවා. :D දැන් කන්නේ කොම්පියුටර් විතරයි. බොහොම ස්ථිථී මගේ දැනුම අලුත් කලාට.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ඔබ මේ සම්බන්ධ දැනුමක් තියන කෙනෙක් වග කලින් කමෙන්ටුවෙන් ම මට දැනුනා.. සතුටුයි ඒ ගැන.

      වෑල්ව් ගැන නම් මට තියන්නේ සීමිත දැනුමක්. මූලික සිද්ධාන්ත ටික ගැනයි ක්‍රියාකාරිත්වය ගැනයි අධ්‍යයන කාලේදී ලබා ගත්තු දැනුම විතරයි ඒ. වෑල්ව් දැකල තිබුනට ඒවා යොදවපු යන්ත්‍රයක් නම් දකින්න ලැබිල නෑ. අපි එනකොට ඒවාට තිබුණු තැන ට්‍රාන්සිස්ටර් වලට ලැබිලානේ.
      //රේඩියෝ සහ අම්ප්ලිෆයර් නම් ඇතිවෙන්න කාලා තියනවා. :D//

      වෑල්ව් රේඩියෝ සහ ඇම්ලිෆයර් කාපු කෙනාට කම්පියුටර් කජ්ජක් ද..? :D :D

      ස්තුතියි විචාරකතුමා!

      Delete
  8. වැදගත් වුන දවසට හදාගන්නම් මචං ....ස්තුතියි ..මේ වගේ දේවල් ගැන මෙහෙම විස්තර දානවට....ජය//

    ReplyDelete
    Replies
    1. හරි සංජය.. ස්තුතියි! ජයවේවා!! :)

      Delete
  9. ස්තුතියි. චන්දන මේ වගේ හරිම වැදගත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. චන්දන මේ වගේ ලිපි හරිම වැදගත්

      Delete
    2. බොහොම ස්තුතියි ඔබට..!

      Delete
  10. හ්ම්ම්...වැදගත් දෙයක්! අපේ දේවල් අපිම හදා ගන්නවනම් කොච්චර හොඳද නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං.. බාගෙට උනත් "සිය රට දේ සිරි සැප දේ!" :)

      Delete
  11. තැන්ක්ස් මචං, වැදගත් ලිපියක්..තාත්තා ඔය සම්භාන්දයෙන්ම රැකියාවක් කලත් මට ඔය වගේ වැඩ සම්භන්ධයෙන් දැනුම අඩුයි..

    ReplyDelete
    Replies
    1. චමී ගේ තාත්තා තාක්ෂණ ශිල්පියෙක්ද.. එල එල.
      උඹ හරි මචං. එක එක්කෙනාට අල්ලලා යන විෂයන් තියනවා නේ. තෑන්ක්ස් මචෝ!!

      Delete
  12. පට්ට වැඩර් කෙනෙක්නෙ බන් උඹ.පුළුවන් නම් යු පි එස් එකක් හදාගන්න හැටි කියපන්කො.

    ReplyDelete
    Replies
    1. UPS එකක් හදා ගන්න හැටි කියල අදහස් කලේ රෙපෙයාර් කර ගන්න එක ගැන ද. නැත්නම් අලුතින් හදන්න ද..? අලුතින් නම් හදන්න බෑ මචං. එකේ හෙන වැඩ ගොඩක් තියනවා. හරියටම තියන්න ඕන නේ.

      Delete
    2. බයිලා..ඉතාම සරලයි. පී.ඩබ්.එම් ඩ්‍රයිවර ක්ශද්‍ර පාලකයක් විතරයි ඔනෙ.මල්ලිලා පන්ඩිතකම් දෙඩෙව්වාට ඔකවත් බෑ වගේ නෙද.

      Delete
    3. @Anonymous

      ඇනෝ, මං නම් සියලු කොටස් එකතු කරලා අලුතෙන්ම UPS එකක් හදල නෑ. ඔබ මට වඩා මේ ගැන දැනුමක් තියන කෙනෙක් බව පේනවා.. ඉතින් ඒ දැනුම බෙදාගන්න පුළුවන් නම් වටිනවා නේ.

      //මල්ලිලා පන්ඩිතකම් දෙඩෙව්වාට ඔකවත් බෑ වගේ නෙද.// කොහෙද හප්පේ මං එහෙම කලේ :D

      Delete
  13. හපොය්යෝ ...........තේලුනේ නම් නැතෝ !එත් මේවා ටිකක් හරි දන්නා කෙනෙක්ට වැදගත්නේ :D

    ReplyDelete
    Replies
    1. කොහේ තේරෙන්නද අප්පා මෙව්වා..? මේක කරන මටත් මුල් කාලේ ග්‍රීක්.. :D
      හ්ම්ම්. කවද හරි කවුරු හරි වැඩක් ගන්නේ නැතෑ කියල කොටලා දැම්ම. කියෙව්වට තෑන්ක්ස්..!

      Delete
  14. අප්පේ..... මට නම් කිව්ව ඔක්කෝඅඅඅඅඅම ටික තේරුනාද කොහෙද....හික්.....

    ReplyDelete
    Replies
    1. මෙන්න හොඳ ළමයෙක්... ලකුණු දහයෙන් දහයයි.. :)

      Delete
  15. ආසම පැත්තක් ඒත් කිසිදෙයක් දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මචං. අලුතින් ම වෙනස් දෙයකට යොමු වෙන්න බෑ තමයි. අනික මේ වචන අරව මේවා කොහොමත් මතක හිටින්නෙත් නෑ.
      කියවනවට ස්තුතියි වී..!

      Delete
  16. එළ වැඩක්නේ!

    ඒ වුනාට මටත් ඉලෙක්ට්‍රික් වැඩ තේරෙන්නේ නෑ බං.පොඩි කාලෙනම් LED බල්බ් සෙට් කරලා සර්කිට් හැදුවා.ඒ ඒවාගේ තිබුණු ගතිය දැකලා.ඊටපස්සේ ඒ ආසාවත් නැතිවෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. පොඩි කාලේ කොහොමත් ආසයි නේ ඔය ගැජමැටික් වැඩ වලට. ඒත් පස්සේ වෙන වෙන අංශ වලට යොමු වුනාම ඒ ආසාව නැතුව යනවා.

      Delete
  17. ඉස්සරනං බං. ඔය සර්කිට් කෑලි අමුණ අමුණ රජ වැඩ කලා. දැං ඒ කාලේ ඉවරයි. දැං උඹලගේ කාලේ... උඹගේ මහන්සිය හරි වටිනවා බං

    ReplyDelete
    Replies
    1. ඒක හරි දේශක. එදිනෙදා වැඩ කටයුතුත් එක්ක මේවා කරන්න කාලයක් හොයා ගන්නත් බෑ තමයි.
      ස්තුතියි බෝම..!

      Delete
  18. ගොඩක් වැදගත් වෙන දෙයක් සරලව පැහැදිලිකරලා තියෙනවා චන්දන අයියේ නියමයි.... වෙලාවක ට්‍රයි කරලා බලන්නම්

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ සනා..! :)
      බලන්න කෝ ඕන උනොත්.

      Delete
  19. මට නම් මෙව්වා තෙරුනේම නෑ. ඒ උනාට වැදගත් ලිපියක් නේ චන්දන.

    ReplyDelete
    Replies
    1. අක්කගේ කතාව හරි. මේවා නොකරන කෙනෙකුට තේරෙනවා අඩුයි නම් තමයි. කියෙව්වට ස්තුතියි..! :)

      Delete
  20. මටත් ඉස්සර සර්කිට් හදන්න පුදුම පිස්සුවක් තිබුනා. පාඩම් කරන්නෑ කියල ගෙදරින් කේස් දැම්මම තමයි නැවතුනේ..
    මම රේඩියෝ කෑල්ලක් හදන් තියෙනවා. ඒකට UPS ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමරයෙකින් 1000uf කන්ඩෙන්සර් 2කුයි IN4007 ඩයෝඩ් 2කුයි මූට්ටු කරල පවර් පැක් එක හදන් තියෙන්නෙ.
    ඒත් ස්පීකරෙන් දෙදරන සද්දයක් එනව. කඩෙන් ගනිපු පවර් පැක් 1 ගැහුවම නෑ..
    මට හිතෙන්නෙ මං හදපු 1න් හරියට DC වලට කන්වර්ට් වෙන්නෙ නැතුවද ?
    මොකක් වෙන්න ඇතිද හේතුව ?

    ReplyDelete
    Replies
    1. දාපු කන්ඩෙන්සර් දෙක පැරලල් කරලද දාලා තියන්නේ. සවුන්ඩ් වැඩිකරගන යද්දීද දෙදරන්න පටන් ගන්නේ. නැත්නම් සාමාන්‍ය ගානට අහද්දිත් එනවද..? Transformer එකේ පිට ආවරණය ඍණ ට දීල බලන්න. නැත්නම් ධන යි ඍණයි අතරට 102, 103 වගේ කන්ඩෙන්සර් එකක් දාල බලන්න. Transformer එකේ අවුලක් නිසාත් වෙන්න පුළුවන්. නැත්නම් 7809 වගේ IC එකක් දාල වෝල්ටේජ් එක අඩු කරලා බැලුව නම් හරියන්නත් පුළුවන්.
      ආ.. අද නේද ආවේ මේ පැත්තේ. සාදරයෙන් පිලිගන්නවා..! :)

      Delete
    2. හොඳට DC කන්වර්ට් කර ගන්න ක්‍රමයක් කියන්නකො.. කන්වර්ට් වෙලා මදි හින්ද වගේ අවුල :/

      Delete
    3. මට යසිත් හදල තියන එකේ පින්තුරයක් බලන්න බැරි වෙයිද.. පුළුවන් නම් කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න.. බලන්න තිබුන මොකද කේස් එක කියල.

      Delete
  21. මට මේ වෙලාවෙ මේක හදන්න වෙලාවක් නැතිවුනත් මේක නම හරිම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් දෙයක්. මට වැඩිය කරන්න නොලැබිච්ච දෙයක් තමයි එලෙක්ට්‍රොනික්ස්. වෙලාවක කොනක ඉඳන් ඉගෙනගන්නත් ආසයි

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. Dude අයියා මේ දවස් වල නිවාඩුව භුක්ති විඳිනවා වගේ. වැඩිය දැක්කේ නෑ බ්ලොග් වලදී.
      ඉලෙක්ට්‍රොනික් හෙන ආතල් විෂයයක්. බලන්නකෝ ඉවර තියන වෙලාවක. කාලය තමයි ඕනේ. මට මොකක් හරි පටන් ගත්තම දවස ගෙවෙනවා දැනෙන්නේ නෑ.

      මට මේ ගැන දන්නා ටික වෙනම බ්ලොග් එකක ලියන්න හිතුන මුලදී. රූප සටහන් අඳින එක තමයි එපා වෙන වැඩේ. නෙට් එකෙන් අරන් පෝස්ට් එකකට පින්තූර දාන්න දැන් මගේ වැඩි කැමැත්තක් නෑ. බලමුකෝ පස්සේ කාලෙක වත්. //ඉලෙක්ට්‍රොනික්ස්. :D// මේ පෝස්ට් එකේ කී තැනක් නම් මං ආයේ ආයේ හදන්න ඇතිද ලියන්න ගිහින්..:D

      Delete
  22. අඩේ අර බලිකුරුට්ට ඇන්දේ උඹමයි කියල මට ෂුවර් නෑ... :)))

    එතකොට ඕගන් වලට කරන්ට් එක දෙන කළුපාට පෙට්ටිය වගේ එක..ඒක මොකක්ද බං?

    ReplyDelete
    Replies
    1. //අඩේ අර බලිකුරුට්ට ඇන්දේ උඹමයි කියල මට ෂුවර් නෑ... :)))// ඇයි බං ඒ.. :D:D
      ඒකත් පවර් පැක් එකක් තමයි. ඕගන් එකට ඕන ගානට මේන් කරන එක අඩු කරලා දෙන්නේ ඒකෙන්.

      Delete
    2. //මේන් කරන එක// මේන් කරන්ට් එක :)

      Delete
  23. මට නම් නිකන් ග්‍රීක් වගේ මචං.. නමුත් ඉතින් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වැඩක් ..

    ReplyDelete
    Replies
    1. මේ ක්ෂේත්‍රයේ නොඉන්න කෙනෙකුට මේක කියෙව්වම මොලේ කොලොප්පං වෙනවා තමයි. උඹ කිව්ව් වගේ කවද හරි කවුරු හරි වැඩක් ගනියි නේ. කියෙව්වට ස්තුතියි මචං!

      Delete
  24. මම ඉලෙක්ට්‍රික් පැත්තට හෙන ආසයි. ඒත් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දාල බලමු මකුළු.. :)
      ආ කතාව ලිව්වේ නෑ නේද අලුතින්.. ඉන්න ගිහින් බලමු.

      Delete
  25. අධ්‍යාපනික දැනුම ලබා දෙන පෝස්ටුවක්... මම පුද්ගලිකව විදුලිය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට එතරම් ප්‍රිය නැති වුවත්... ප්‍රයෝජනයක් ගත හැකි අය වෙනුවෙන් ලියන්නට දැරූ වෙහෙස අගය කරමි. ජය !

    ReplyDelete
    Replies
    1. හැමදාම මේ පැත්තට ඇවිත් දෙන සහයෝගයට බොහොම ස්තුතියි සිරා..!
      ජයවේවා!!!

      Delete
  26. දෛනික කාලසටහනේ යම් වෙනසක් කරපු නිසා සරා ටිකක් බිසී වෙලා යාලුවා. පෝස්ට් ලියන එක ටිකක් සීමා වෙයි කීප දවසක් යනකම්. හොඳ පෝස්‍ටුවක්, යමක් ඉගෙන ගන්න කැමති කෙනෙකුට. ජය..!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මං ඒත් බැලුවේ දවස් තුනෙන් හතරෙන් පෝස්ට් දාපු සරා පේන්න වත් නැත්තේ මොකද කියල. එල එල.. වැඩ ටික එකලාසියක් කරගෙන එන්නකෝ.
      ජය!!

      Delete
  27. පට්ට පොස්ට් එක අයියේ...මම හැදුවට කිසිම ඉලෙක්ට්‍රොනික් මගුලක් හරියන්නේ නෑ..ඒකනේ හැම රෙද්දම උස්සගෙන ඔයාලගේ ගෙදර දුවන්නේ

    ReplyDelete
    Replies
    1. ඇම්පිලිපයර් එකක් වත් හදමුද මල්ලි ආයේ.. :)

      Delete
  28. නියම ලිපියක් අයියේ... මමත් ආසයි ඉලෙක්ට්‍රොනික් පැත්ත ඉගෙනගන්න.

    කොහෙද ඒත් අපිට ඒකට අවසර.. :(

    ReplyDelete
    Replies
    1. ඔයාට කියන්න අපි ඉලෙක්ට්‍රොනික් කරද්දී ඉලෙක්ට්‍රිකල් කෝස් එක කළා ගෑනු ළමයෙක්. සර්ලත් අහනවා ඇයි එහෙම දෙයක් තෝරා ගත්තේ කියල. එයා ආසයි ලු.
      දැන් නම් මොනව කරනවද දන්නේ නෑ.

      Delete
    2. අපිත් එක්කත් හිටියා ඔරලොසු හදන කෙල්ලෙක්. මාර වැඩකාරි.

      Delete
    3. ඒ වගේ වෙනස් පැත්තකට යොමු වෙන්න කැමති අය ඉන්නවා.

      Delete
  29. Replies
    1. ඉන්ද්‍රජිත් මේ පැත්තට ආවාමයි නේද.. සාදරයෙන් පිලිගන්නවා ඕං..!:)
      තැන්ක්යූ..!!

      Delete
  30. ඉලෙක්ට්‍රොනික් පැත්තට තිබුණ ආසාවට ඒ කාලේ පොඩි පොඩි සර්කිට් කෑලි හැදුවට මේ වගේ එකක් ට්‍රයි කරලා ඇනගන්න වේවිද කියලත් හිතෙනවා... කොහොම උණත් වටින සටහනක්!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... මුල් කාලේ කරපුවා පස්සේ භාවිතයක් නැති නිසා අමතක වෙලා යනවනේ. ඒක නිසා පොඩ්ඩක් විතර පැටලිලි සහගතයි නම් තමයි. ඕන උනොත් බලන්නකෝ.
      ස්තුතියි ලහිරු..!

      Delete
  31. මේ පෝස්ට් එක නම් කියෙව්වේ නෑ මං.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. පස්සේ ඕන වුනොත් බලමු..:)

      Delete
  32. එදිනෙදා වැඩ වලටනම් මේක වැදගත්..

    ReplyDelete
    Replies
    1. ඔබව පිලිගන්නවා මුලින්ම මේ පැත්තට!
      ඔව්.. යම් යම් වැඩ වලට ඕන වෙනවා නේ.
      බොහොම ස්තුතියි අසරණයා..!!

      Delete
  33. චැක් ආයෙ මෙක දැක්කම පරන කුනු ගොඩවල් මතක් උනා මං කොරපු. මාත් එකක් හැදුවා STK ඇම්ප් එකකට ඇම්ප් එක හරි එත් ට්‍රන්ස්ෆොමරෙ හරි නැ ඔන් කරපු ගමං ට්‍රන්ස්පොමරෙං දුමක් දාලා ට්‍රප් එක ගියා ඉට පස්සෙ අපෙ අමිමගෙං මං හොදවයිං බලු බැනුමක් අහාගත්තා මහ රැ ට්‍රප් යවලා :/

    ReplyDelete
    Replies
    1. අම්මා හිතන්න ඇති කුමන්ත්‍රණයක් වත් ද කියල.. :)
      බ්‍රේකර් එකෙන් වෙන්න ඇති ඕෆ් වෙන්න ඇත්තේ.. ඒ ඈම්ප් එක දැන් නැද්ද..

      Delete
  34. 7805, 7812 වාගේ Regulator IC පාවිච්චි කරලා ස්ථායි විදුලි සැපයුමක් ගන්න පුළුවන් නේද. මම එහෙම කියුවේ මාද ඉලෙක්ට්‍රොනික් ගැන තරමක් දන්නා බැවිනි. Physics මා වඩාත් ඇලුම් කරන විශයයක්. ඔබගේ අඩවියෙන් මේ හා සමාන සේවාවක් සිදුවීම අගය කරමි. එය සිංහල බ්ලොග් කලාවේ විරල අවස්තාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.!

      ඔයා හරි. 7805, 7812 වාගේ Regulator IC වලින් DC විදුලිය අවශ්‍ය විදිහට අඩු කර ගන්න පුළුවන්. අපි කලින් කලේ ට්‍රාන්සිස්ටර් එකක් දාලා සෙනර් ඩයෝඩ් එකකුත් එක්ක පොඩි සර්කිට් එකක් හදා ගන්න එකනේ.

      ඊට වඩා පහසුයි වගේම ස්ථාවරයි Regulator IC එකක් දාන එක. වැඩි ධාරාවක් ගන්නේ නැති තැන් වලට වැඩිපුර පාවිච්චි වෙන්නේ Regulator IC තමා.

      බොහොම සතුටුයි මේ විෂයයට ඇලුම් කරන කෙනෙක් හඳුනා ගන්න ලැබීම ගැන!!

      Delete

ඔබ තබා ගිය සටහන්...
හැඩ කලා මා ලියූ සටහන්...